ලෝවාමහා ප්‍රාසාදය (අනුරාධපුර)


        බෝ මළුවෙන් පිටවී රුවන්මැලි සෑය දෙසට යාර කීපයක් ගිය විට දකුණු පසින් දිස්වන ගල්කණු රාශියකින් යුක්ත ඉදිකිරීම ලෝවා මහා ප්‍රාසාදයයි. තඹ මිශ්‍ර ලෝහ උළු සෙවිලි කළ හෙයින් ලෝවාමහාපාය නමින් ව්‍යවහාරයට පත් මේ මහා ප්‍රාසාදය මහමෙවුනා උයනෙහි පිහිටවනු ලැබූයේ එකල මහා සංඝයාගේ පොහොය ගෙය වශයෙනි.

        ක්‍රි:පූ: 161-137 කාලය තුළ ශ්‍රී ලංකාව පාලනය කරන ලද දුටුගැමුණු රජතුමා විසින් රහතන් වහන්සේලාගේ මාර්ගයෙන් ලබාගත් දෙව්ලොව "භරණි" නම් දෙව්දුවගේ ප්‍රාසාදයේ සැලැස්ම අනුව මේ ප්‍රාසාදය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. මහල් නවයකින් යුක්තව, දිග, පළල හා උස රියන් 100 බැගින් සම හතරැස් වන සේ කළ මේ ප්‍රාසාදයෙහි එක් එක් මහල් වල රිදී තහඩු වලින් වෙන් කරන ලද කාමර 900කින් යුක්ත වූ බවත්, බු:ව: 406 දී පමණ පහනකින් ඇවිලගත් ගින්නකින් දැවී ගිය මේ ප්‍රාසාදය සද්ධාතිස්ස රජතුමා විසින් නැවත සත් මහල් කොට කරවූ බවත් මහා වංශයේ සඳහන් වේ. බු:ව:739 පමණ වන විට නැවත දිරාපත් වූ මේ ප්‍රාසාදය සිරිනාග රජතුමා විසින් පස්මහල් කොට ඉදි කළත් බු:1819 දී එනම්, ක්‍රි:ව:276- 303 කාලය තුළ රාජ්‍ය පාලනය කළ වෛතුල්‍යවාදය පිළිගත් මහසෙන් රජතුමා ප්‍රාසාදය බිඳ හෙළූ අතර, පසුව රජ වූ කිත්සිරිමෙවන් රජතුමා විසින් බු:වා845දී ප්‍රාසාදය නැවත පස් මහල් කොට කරවන ලදී.

        වර්තමානය වන විට මෙහි ඉතිරිව ඇත්තේ ගල් කණු 1600ක් පමණි. මෑතකදී එම ගල් කණු කීපයක් මත සීමාමාලකයක් ඉදිකර ඇත.






                                                                                                                                                                          

Comments