ජය ශ්‍රී මහා බෝධිය (අනුරාධපුරය)
ශ්‍රි ලංකාද්වීපයේ සිංහල රාජාවලියේ ප්‍රථම රජතුමා වන විජය රජතුමාගේ අනුරාධ නම් අමාත්‍යයා විසින් කරවන ලද "අනුරාධ" නම් ගම ක්‍රි:පූ 437 දී රජ වූ "පණ්ඩුකාභය නම් මහීපාලයන් විසින් 'අනුර' නම් නැකතින් ආරම්භ කර අනුරාධපුරය නමින් ගොඩනැඟීය. එතැන් සිට නගරයකට අවැසි සියලු අංගොපාංග නිර්මාණය කර අනුරාධපුරය තම අගනුවර කොටගෙන පාලන කටයුතු මෙහෙයවීමය. මෙසේ ගොඩනැගි අනුරාධපුර රාජධානිය සියවස් 13ක පමණ කාලයක් නොනැසී පැවතිණි.
බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළ අවස්ථාවලදී සමාපත්තියට සමවැද වැඩ ඉදිමෙන් හා මහින්ද මහරහතන් වහන්සේ විසින් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීමේ මූලස්ථානය කර ගැනීමෙන් ද, ශ්‍රද්ධා භක්ති සම්පන්න රජවරුන් විසින් කරවන ලද සිංහල ජාතියේ කීර්ති කදම්බය වැනි වූ දාගැබ්,බෝමළු ආදී පූජ්‍ය ස්ථාන පිහිටුවීමෙන් ද අතිපාරිශුද්ධත්වයට පත් වූ හෙයින් අනුරාධපුරය ශුද්ධ භූමියක් බවට පත් වූයේය.
නැගෙනහිරින් මල්වතු ඔයෙන් ද, බටහිරින් තිසා වැවෙන් ද, උතුරින් ථූපාරාම පුද බිමෙන් ද, දකුණින් වෙස්සගිරි භූමියෙන් ද මායිම් වූ මහමෙව්නා (මහා මේඝවර්ණ) උයනෙහිදී මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට පෙන්වන ලද මාලක සීමාව, ගිහිහල් පොකුණ, ජය ශ්‍රී මහා බෝධිය, පොහෝ ගෙය, ලහබත් ගෙය, චතුස්ශාලාව, රුවන්වැලි සෑය, තිස්සාරාමය, යන සිද්ධස්ථාන අට පිහිටන තැන් පැරණි අටමහතැන් වශයෙන් ඉතිහාසයෙහි සදහන් වේ.
එහෙත් දැනට අටමස්ථාන කමිටුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අටමස්ථානය වශයෙන් පිළිගෙන ඇත්තේ ජය ශ්‍රී මහා බෝධිය, ලෝවාමහා ප්‍රාසාදය, රුවන්වැලි සෑය, ථූපාරාමය, ලංකාරාමය, අභයගිරිය, ජේතවනාරාමය, මිරිසවැටිය යන පූජ්‍ය ස්ථාන අටයි.
මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුදැනුම පරිදි දෙවන පෑතිස් නිරිඳුන් විසින් තම බෑණා වූ අරිට්ඨ නම් කුමරු අත යවන ලද රාජ සන්දේශයෙන් කළ ඉල්ලීම පිළිගත් ධර්මාශෝක රජතුමා දඹදිව ජය ශ්‍රී මහා බෝධියෙන් ලබාගත් දක්ෂිණ ශාඛාව ද සමඟ ලංකා මෙහෙණි සස්න ද පිහිටුවීම නිමිති කොට සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස ලක්දිවට වැඩම කරන ලදී.
දේවානම්පියතිස්ස රජු ප්‍රධාන ලංකා බෞද්ධයන් විසින් පූජෝපහාර සහිතව පිළිගත් ඒ ශ්‍රී මහා බෝධි ශාඛාව මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දක්වන ලද පෙර බුදුවරුන්ගේ බෝධි පිහිටි තැන්හි අඩි 21 ක් පමණ ගොඩ කරන ලද භූමියෙහි උඳුවප්පුර පසළොස්වක් දිනට පෙර දින සවස රෙහෙණ නැකතින් රෝපණය කරන ලදී.
සුපතිට්ඨිත රට්ඨානුරාධපුරේ - සම දිට්ඨිත දක්ඛිණ ශාඛභවං
සුභ මේඝවනම්බර මේඝනිභං - ජය බෝධිමහං පණමාමි වරං
(ජය ශ්‍රී මහා බෝධි වන්දනා ගාථාව)
ශ්‍රී මහා බෝධි ශාඛාව පිහිටුවා තුන් වැනි දිනයෙහි මහා පිරිස ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය පැතිරීමේ ප්‍රාතිහාර්ය බලා සිටියදීම නැගෙනහිර ශාඛාවෙන් වැටුණ ඉදී ගිය බෝ ගෙඩියක් අහුලාගත් මිහිඳු මහ රහතන් වහන්සේ රෝපණය කිරීම සඳහා එය මහ රජුට දුන්හ. රන් බඳුනක තවාන් කළ ඒ ගෙඩියෙන් බෝ. පැළ අටක් පැන නැගුණු බවත්, ඒවා 'අෂ්ඨ ඵල බෝධි' නමින් හැඳින් වූ බවත්, මේ බෝධි අට දඹකොළ පටුන, තිවක්ක බමුණුගම (වර්තමාන තන්තිරිමලය) ථූපාරාමය, ඉසුරුමුණිය, මහියංගණය, මිනින්තලය, කතරගම, සඳුන්ගම යන අට තැන්හි රෝපණය කරවන ලද බවත් ඉතිහාසයේ සඳහන් වේ
Comments
Post a Comment